Sunday, April 5, 2015

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලියවුණි
රැක්මට පුතුන් දිවියේ දුක් ගැහට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී

මාලනී ජයරත්න ලියූ ටී එම් ජයරත්න ගායනා කරන ඒ ගීතය සමහර දෙනෙක් ඉල්ලන්නේ ... "අර අම්මා ගැන කියන ටී එම් ගේ සිංදුව කියන්න කියලා"
මව සඳක් ලෙසත්, පියා ඉරක් ලෙසත් සලකන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමා සඳ සුමුදු වීමත් හිරු තද රස්නයෙක් යුක්ත වීමත්.

තාරක විද්‍යාව ගැන ඉගෙන නොගත් කෙනෙක් වුනත් දන්න දෙයක් තමා සඳ, හිරුත් අපත් අතරට විත් ඉන් ලැබෙන එලිය මිනිත්තු කිහිපයකට  නැතිකරනවා. ඒ වෙලාවට සඳට නම් එළිය ලැබෙනවා.
මේ තමා සූර්යග්‍රහණය.


මේ දේම අනිත් පැත්ත වෙන්නේ නැත්තේ ඇයි ?
හිරු වැරදිලාවත් අපත් සඳුත් අතරට ආවොත්....


හිරු එහෙම නො එන්නේ බැරිකමටත් වඩා අපව දැවිලා අළුවෙලා යයි කියන් භයට වෙන්න ඇති.
හිරුගේ රශ්මිය ඒ තරම් විශාලයි.

හිරු මූලිකයා ලෙස සැලකුවාට මම නම් හිතන්නේ, අප ලඟම ඉඳන් අප වටේම කැරකෙමින් අපට වැඩි බලපැමක් කරන්නේ සඳුයි.

මේ ගීතය ලියල තියෙන්නෙත් මවක් නේ.
කවුරුත් මේ ගීතය ගැන අමනාප නැත්තෙත් ඒක වෙන්නම ඕනේ.

පුංචි කාලේ අම්මා බත් කවන්න රෑට එලියට එක්ක යනවා.
අන්න අන්න පුතේ අර ඈත ලස්සන තරුවක් ... කියල කටේ තියනවා බත් කටක්.

එලියට අරන් යන්නේ තරු පෙන්නන්න ම නෙවේ.. කැම පිඟානේ තියෙන කොල මැල්ලුම් එහෙම දකීවි කියලා.
ඒ කපටිකම ගැන දැන ගත්තේ මාත් දරුවන්ට බත් කවන කෙනෙක් වුනු දවස් වල.

ඈත් පේන තාරුකාවක් ඉල්ලලා මං අඬන කොට අම්මා කියනවා "මගේ පුතා බත් ගොඩාක් කාලා ඉක්කමන්ට ලොකු වෙන්න කෝ, එතකොට මං පුතාට ඒ තරුව ගෙනැල්ලා දෙන්නම් කියලා."

මේ වගේ ලොකු බොරුවක් දරුවෙකුට කරන්නේ තමන්ගේ අම්මා විතරමයි. වෙන ඕනෙම කෙනෙක් ඇත්ත කියලා අපව අඬවාවි.
අම්මා දන්නවා පුතා ලොකු වුනාම තරු කඩා ගන්න ගිහින් ජීවිතේ එලිය කරගන්න හරි දවා ගන්න හරි වෙන බව.